අඹ ගසක් යටින් ඇරැඹුණු මහවිලච්චියේ හොරයිසන් ‘අමුතු ඉස්කෝලේ’

Nanda Wanninayaka

නාලක ගුණවර්ධන  ravaya@nalaka.org 
මේ 2018 සැප්තැම්බර් 02 දින රාවය පුවත්පතට නාලක ගුණවර්ධන ලියූ ලිපියකි.

සිවුමංසල කොලු ගැටයා #378                      For: Ravaya, 2 Sep 2018

අලුත් දෙයක් කිරීමට තැත් කරන බොහෝ දෙනක් ලක් සමාජයේ දැඩි ලෙස පවතින ගතානුගතිකත්වය හා විවිධ අධිපතිවාදයන් නිසා මතු වන ප්‍රතිරෝධයන්ට මුහුණ දෙනවා. ඒ නිසා සමහර නවෝත්පාදකයන් පසුබට වනවා.

එසේ නොවී, මහත් ධෛර්යයෙන් හා වීරියෙන් විසි වසරක් පුරා තමන්ගේම ක්‍රමවේදයන් හරහා ගැමි දරුවන්ට තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි ජය ගන්නට උදවු කරන නන්ද වන්නිනායක, මා කලෙක සිට අගය කරන අපූරු චරිතයක්. 1998 අගෝස්තුවේ ඔහු ඇරඹූ හොරයිසන් පාසල (Horizon School) අසාමාන්‍ය කථාවක්.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට සමීපව පිහිටි මහවිලච්චිය ගම්මානයේ උපන් නන්ද වන්නිනායක පසු කලෙක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස රජයේ පාසල්වල පන්ති කාමරයේ යම් නවෝත්පාදන කිරීමට මුලින් උත්සාහ කළා. පසුව රජයේ ගුරු සේවයෙන් ඉවත්ව හොරයිසන් ලංකා පදනම නමින් (www.horizonlanka.org) ලාබ නොතකන අධ්‍යාපනික ආයතනයක් ඇරැඹුවා.

එයට ආධාර ලැබුණේ මෙරට හා විදෙස්ගතව සිටින ලාංකික දානපතීන්ගෙන්. හොරයිසන් පදනම පෞද්ගලික මට්ටමින් (කිසිදු නිල රාජ්‍ය මැදිහත්වීමකින් තොරව) කරන ඉගැන්වීම් නිසා ගැමි දරුවන් සිය ගණනකට ඉංග්‍රීසි හා තාක්ෂණ හැකියාවන් ලැබී තිබෙනවා. විවිධ ප්‍රතිරෝධයන් හා දුෂ්කරතා මැද වන්නිනායක මෙතෙක් කර ගෙන ආ වැඩ කොටස තවමත් මෙරට නිසි ඇගයීමකට ලක් වී නෑ. ඒත් ඔහුගේ වැඩ ගැන විදෙස් විද්වත් ප්‍රකාශනවල ඉහළින් ලියැවී තිබෙනවා.

“වන්නි” නමින් අප හඳුනන නන්ද වන්නිනායක සමග අද මා කථා කරන්නේ විසි වසරක හොරයිසන් අත්දැකීම් බෙදා ගැනීමේ අරමුණින්.

නාලක: ලක් සමාජයේ බොහෝ දෙනා ප්‍රගුණ කිරීමට මැලි තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි යන දෙකම ඔබ මෙල්ලකර ගන්නවා පමණක් නොව සිය ගණනක් ගම්බද සිසුන්ට ඒවා ජය ගන්නට උපකාර වනවා. ඔබේ දැක්ම කුමක්ද?

වන්නි: හරිම සරලයි – මේ දෙකම ජීවිතයේ කොටසක් කර ගන්න. කලකට පෙර ඉංග්‍රීසි කතා කළ අය බොහෝ විට සමාජයේ ඉහළ ස්ථරවලින් පැමිණි අය. පරිගණක වෘත්තිකයන් වුණත් වායුසමනය කළ කාමරවල සුවපහසු ජීවිත ගත කළ අය. නමුත් මම කළේ මෙහි අනිත් පැත්ත.

ගම්වල ළමයින් උපතින්ම චිත්‍ර, සංගීතය, නැටුම් ගැයුම්, රංගනය, ක්‍රීඩාවලට අතිශයින්ම දක්ෂයි. මම කළේ ඉංග්‍රීසි අධ්‍යාපනය මේ ළමයින් කැමති අංශ භාවිතා කරමින් ඉගැන්වීම. තොරතුරු තාක්ෂණය වුණත් එහෙමයි. බොහෝ අය කරනවා මෙන් පරිගණක තාක්ෂණයේ විවිධ අංශ සඳහා කිසිදු වැදගම්මක් නැති ඩිප්ලෝමා සහතික නිකුත් කරමින් විවිධ මිල ගණන් අය කරමින් කෑලි කෑලි උගන්වනවාට වඩා මම කළේ දරුවන්ට රස විඳිය හැකි පැවරුම් (assignments) මගින් පරිගණක අධ්‍යාපනය ලබා දීමයි.

උදාහරණයක් වශයෙන් දරුවකුට වෙබ් අඩවියක් නිමවන්න කියූ විට ඉබේම වචන සැකසුම්, ග්‍රැෆික් ඩිසයින්, වෙබ් ඩිසයිනින්, ඕඩියෝ සහ වීඩියෝ එඩිටිං වැනි දේවල් කරන්න වෙනවා. මේ අංශ දරුවන් තනියම හෝ විවිධ අයගෙන් සහය අරගෙන කරනවා. අවාසනාවකට අපේ රටවල ගුරුවරුන් සහ වැඩිහිටියන් දරුවන්ට සලකන්නේ පුංචි මෝඩයන් (little idiots) පිරිසක් විදිහට. ඔවුනට අවශ්‍ය නිදහස ලබා දෙන්නේ නැහැ. වගකීම් බාර දෙන්න බයයි. නමුත් හොරයිසන් ලංකා ආයතනයේ බොහෝ දේවල් කළේ අපි නෙවෙයි. ළමයින් විසින්.

ඔබ පටන් ගත්තේ කොතැනින්ද? ඔබට ප්‍රබෝධක ආවේගය (inspiration) ලැබුණේ කොහෙන්ද?

මම පාසල් සිසුවකුව සිටියදී සිහින මැව්වේ ඇමරිකානු විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලැබීමටයි. මගේ මව සහ පියා සමාජවාදී අදහස් දරුවත් පියා ඇමරිකානු උසස් අධ්‍යාපනය ගැන ධනාත්මක අදහස් දරුවා. මම කියවා තිබුණා බොහෝ දීප්තිමත් ශ්‍රී ලාංකිකයින් ෆුල්බ්‍රයිට් (Fulbright) ශිෂ්‍යත්ව ලබා ඇමරිකානු උසස් අධ්‍යාපනය ලද බව. ඒ නිසා මමත් හිතුවා එවැනි අවස්ථාවක් මටත් උදාවෙයි කියලා.

එහෙත් උසස් පෙළ අධ්‍යාපනය ලබද්දී මම දැඩි ලෙස රෝගාතුර වුණා. උසස් පෙළ සඳහා පාසල් තුනක් මාරු කළත් ඒ හැම වෙලාවකම නැවත නැවතත් රෝගාතුර වුණ නිසා උසස් අධ්‍යාපන බලාපොරොත්තු අත හරින්න සිදුවුණා.

ඒ නිසා රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස අහඹු ලෙස පත්වීමක් ලැබුණ දින සිටම මම උත්සාහ කළේ හැකි තරම් සිසු සිසුවියන් දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාලවලට, උසස් තාක්ෂණික ආයතනවලට, කාර්මික විද්‍යාලවලට, ලලිතකලා ආයතනවලට සහ ක්‍රීඩා පාසල්වලට යොමු කිරීමට. මට ලැබුණ එකම ප්‍රබෝධක ආවේගය (inspiration) තමයි උසස් අධ්‍යාපනය අහිමි වීම සහ මට අහිමි වූ දේ දරුවන්ට ලබා දිය යුතු යැයි ඇති වුණ හැඟීම.

රජයේ ගුරු වෘත්තියේ නිරතව සිටි කාලයේත් ඔබ අලුත් විදියට යම් යම් දේ කරන්න උත්සාහ කළා නේද? එහිදී මොකද වුණේ?

රජයේ ගුරු වෘත්තියේ අවුරුදු තුනක කෙටි කාලයක් පමණයි මට රැඳෙන්න පුළුවන් වුණේ. ඒත් පාසල් දෙකක. එහිදී අවශ්‍ය නිදහස සහ සහයෝගය මට පාසල් අධිකාරියෙන් හෝ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලැබුණේ නැහැ. ඒ නිසා බොහොම ඉක්මනින් පාසල් ගුරු වෘත්තියට සමු දුන්නා.

ඔබ රජයේ ගුරු සේවයෙන් ඉවත් වුණත් ගුරු වෘත්තියේ දිගටම රැඳී සිටියා. ටියුෂන් ගුරුවරයකු වනවා වෙනුවට ඔබ හොරයිසන් පාසල හා පදනම පටන් ගත්තා. විසි වසරකට පෙර ඔබ මේ චාරිකාවට යොමු වුණේ කෙලෙසද?

මම මහවිලච්චිය සාලියමාලා විදුහලින් අස්වෙලා ගෙදර ගියේ ආපහු හේන් කොටන්න, කුඹුරු කොටන්න බලා ගෙන. ඒත් එදාම හවස ඒ විදුහලේ දරු දැරියන්ගේ දෙමාපියන් පිරිසක් පැමිණ මගේ නිවසේදී හෝ ඔවුන්ගේ දරුවන්ට උගන්වන ලෙස ඉල්ලා සිටියා. ඉතින් ගෙදර එවැනි දේකට ඉඩ මදි නිසා අපේ වත්තේ අඹ ගහක් යට උගන්වන්න පටන් ගත්තා. ළමයින්ට ඉඳ ගන්න පුටුවක්වත් නැතිව සිටි ඒ අවධියේදී ළමයි ඇත්තටම හිටියේ කොට උඩ. ඒ අඹගහ යට කොට උඩ ඉංග්‍රීසි සහ පරිගණක පන්තිය තමයි පසු කලෙක හොරයිසන් ලංකා පදනම ලෙස පරිණාමය වුණේ!

ඇත්තටම ටියුෂන් ගුරුවරයකු ලෙස ඉතා හොඳ සහ සුරක්ෂිත අනාගතයක් මට ලබන්න තිබුණා. මම අනුරාධපුර නගරයේ රජයේ පාසලක උගන්වන කාලයේදී වෙනත් විදුහලක දැරියන් කිහිප දෙනකුට ඉංග්‍රීසි සාහිත්‍ය විෂය ටියුෂන් ගුරුවරයකු ලෙස ඉගැන්වුවා. මම අය කළ මුදල අනුරාධපුරයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අය කළ මුදල වගේ දෙගුණයක්. ඒත් දෙමාපියන් නොපැකිලව එය ගෙව්වා. නමුත් මට එයින් වැඩි සතුටක් ලැබුණේ නැහැ. ඒ නිසා මම එයින් ඉවත් වුණා. ගමේ ළමයින්ට නොමිලේ උගන්වන එකෙන් වැඩි සතුටක් ලැබුණා. අද මම මුල්‍යමය වශයෙන් බංකොලොත් වෙලා හිටියත් මගේ සිසු සිසුවියන් ගිහින් තියෙන දුර දැක්කම ලොකු සතුටක් ලැබෙනවා. ඒ සතුට කිසිදිනක මොනර කොළ වලින් ලබන්න බෑ.

මහවිලච්චිය අනුරාධපුරයෙන් කිලෝමීටර් 40ක් දුරින් පිහිටි, ගොවිතැන ප්‍රධාන ජීවිකාව වූ ප්‍රදේශයක්. යුද්ධයෙන් බැට කෑ මායිම් ගම්මානයක්‘. එවකට සමාජ ආර්ථික පරිසරය කෙසේ වීද?

‘මායිම් ගම්මානය’ කියන යෙදුමට මම කැමති නැහැ. අපි එක රටක්. එවකට පැවති සිවිල් යුද්ධය සම්බන්ධයෙන් වුණත් මට තියෙන්නේ වෙනත් කියවීමක්. මහවිලච්චිය නිරතුරුවම ත්‍රස්ත ප්‍රහාරවලට ලක්වුණා. පොලිසියට, හමුදාවට සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් ඝාතනය වුණා. තුවාල ලැබුවා. ගැමියන් ඝාතනය වුණා. අතුරුදහන් වුණා. මගේ සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කිහිපදෙනෙකුත් ත්‍රස්තවාදීන් මරා දැම්මා. අතුරුදහන් කළා.

ඒත් කිසිම දිනක මම හොරයිසන් ලංකා වෙබ් අඩවිය ඔස්සේ යුද්ධය මාකට් කළේ නැහැ. වෙබ් අඩවියේ කිසිම තැනක යුද්ධය ගැන කතා කළේ නැහැ. මම මාකට් කළේ දරුවන්ගේ හැකියාවන් පමණයි. වෙන එකක් තියා ළමයින්ට වැරහැලි අන්දවා ඔවුන්ගේ දුප්පත්කම මාකට් කළෙත් නැහැ.

හොරයිසන් පාසලෙන් ඔබ පිටිසර ගමක දරුවන්ට ඉංග්‍රීසි හා පරිගණක තාක්ෂණය ඉගැන්වීම සඳහා නව ආකාරයේ ඉගැන්වීමේ ක්‍රම යොදා ගත්තා. ඒ මොනවාද?

ඇත්තටම “උගන්වනවා” කියන වචනයටවත් මම කැමති නැහැ. මම කිසිම දවසක “ගුරුවරයෙක්” (teacher) වුණේ නැහැ. මම පුහුණුකරුවෙක් (coach) පමණයි. මම කිසිම දිනක ඉංග්‍රීසි හෝ පරිගණක ඉගැන්වීමට වෘත්තීය සුදුසුකම් ලබලා නැහැ. මට තියෙන්නේ අනුරාධපුරේ DELIC ආයතනයෙන් ලැබුණ අවුරුද්දක ඉංග්‍රීසි භාෂා පුහුණුවක් පමණයි. එයත් ගුරු පුහුණුවක් නෙවෙයි. භාෂා පුහුණුවක් විතරයි. මට අවුරුදු 25 වෙන කල්ම ඉංග්‍රීසි කතා කරන්න බැරුව හිටියේ. නමුත් DELIC ආයතනයේ සිටි දක්ෂ ගුරුවරුන්ට පින්සිදු වෙන්න කෙටි කාලයකදී මම හිතන විදිහට හොඳ ඉංග්‍රීසි දැනුමක් ලැබුණා. මම පරිගණක ඉගෙන ගත්තෙත් ස්වෝත්සාහයෙන්, HELP MENU එකෙන්.

හොරයිසන් ඇරඹූ පසුව මම ඉගැන්වීමට වෘත්තීය සුදුසුකම් ලැබීමට ඈත පළාතක ගුරු විද්‍යාලයකට  ගියා නම් අවුරුදු දෙකක් ගමේ සිසු දරුවන්ගෙන් ඈත්ව සිටින්නට වෙනවා. අවුරුදු දෙකකින් ආපහු ගමට එද්දී ඒ දරුවෝ ටික මංමුළා වෙලා තියෙන්න ඉඩ තිබුණ නිසා මට ඔවුන් හැරදා යන්න හිත හදා ගන්න බැරි වුණා. හැබැයි සම්මත ගුරු පුහුණුවක් නොලැබීම ගැන මම සතුටු වනවා. මොකද මට අසම්මත, මගේම ක්‍රම හොයා ගන්න පුළුවන් වුණ නිසා. මම අනුගමනය කළේ Remember the Titans චිත්‍රපටයේ Coach Boone ඔහුගේ පාසලේ ඇමරිකන් ෆුට්බෝල් කණ්ඩායම පුහුණු කළ ආකාරය. ඒ ක්‍රම බොහොමයක් අසම්මත මෙන්ම සමහර විට නිර්දය ආකාරයේ ක්‍රම. හැබැයි ඒ පුහුණුව ලබා හමාර වූ හොරයිසන් ලංකා දරු දැරියන් අද බොහොම සාර්ථක වෘත්තිකයන් සහ පුරවැසියන් වෙලා තියෙනවා.

මේ ‘අමුතු පාසල’ ගැන ගමේ දෙමවුපියන්ගේ හා වෙනත් වැඩිහිටියන්ගේ ප්‍රතිචාර කෙබඳු වීද?

දරුවන් කිව්වේ නම් හොරයිසන් පාසල හැරී පොටර් කථා මාලාවේ තිබෙන “හොග්වර්ට් පාසල” වගේ මැජික් පාසලක් කියලයි. ඒ වගේම ළමයින්ට උපරිම ලෙස විනෝදය මගින් දැනුම සපයන තැනක් වුණා. ඒත් සමහර වැඩිහිටියන්, විශේෂයෙන්ම සමහර “ප්‍රභූ” යැයි කියා ගන්නා අය, පුවත්පතක මුද්‍රනය කළ නොහැකි අශිෂ්ට නම්වලින් හොරයිසන් පාසල හැඳින්වුවා!

ඒ විවේචනය කළ අයගේ දරුවන් නගරයේ ලොකු පාසල්වලට යවා ඉගැන්වුවත් බොහෝ දරුවන් නැවත ගමට පැමිණියේ නන්නත්තාර වෙලා. හොරයිසන් පාසල ගැන විශ්වාසය තැබූ ගොවියන්ගේ, ධීවරයන්ගේ, කුලී වැඩ කරන්නන්ගේ දරුවන් අද වෙන විට ගමක දරුවන්ට හිතන්නවත් බැරි ලෙස මෘදුකාංග ඉංජිනේරුවන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, ගණකාධිකරවරුන්, නීතිඥයන් සහ වෙනත් අංශ ගණනාවක වෘත්තිකයන් වෙලා ඉන්නවා. ඒකෙ ගෞරවය හොරයිසන් පාසල තනියම අයිති කර ගන්නේ නැහැ. ගමේ පාසල්, ටියුෂන් පන්තිවලටත් එහි ගෞරවය අනිවාර්යයෙන්ම  යායුතුයි.

ගතානුගතිකත්වය හා වැඩවසම් මානසිකත්වය තවමත් ප්‍රබල අපේ සමාජයේ, ඔබේ මේ නවෝත්පාදන ආකාරයේ ඉගැන්වීම් වැඩට ප්‍රතිරෝධ එල්ල වූවාද? එසේ නම් ඒ කාගෙන්ද? කෙලෙසකද?

වැඩිම ප්‍රතිරෝධය ආවේ ගමේ හිටිය උගත්, බුද්ධිමත් යැයි සැලකෙන කණ්ඩායමෙන්. අපිට මුලින්ම ඩිජිටල් කැමරාවක් ලැබුණේ 2002 තරම් කාලයේදී. එයින් ළමයින්ට ගමේ ඇවිද අවශ්‍ය තරම් ඡායාරූප ගන්න අප ඉඩ දුන්නා. ඉතින් ගමේ ග්‍රාමසේවක මහතා ප්‍රසිද්ධියේ කියලා තිබුණා මම ළමයින්ගේ නිරුවත් ඡායාරූප අරන් විදෙස් රටවලට විකුණනවා කියලා.

පැය 24 පුරා අසීමිත ඉන්ටර්නෙට් පහසුකම් අප ලබා ගත්තේ 2004දීයි. එතකොට අර උදවියම පතුරවපු කතාව තමයි අප පාසලේ නාන කාමරයේ කැමරා සවිකර, ළමුන්ගේ නිරුවත් දර්ශන ඉන්ටර්නෙට් මගින් විදේශිකයන්ට විකුණන බව! ඒ වගේම අපි ගමටම නොමිලේ Wi-Fi පහසුකම් ලබා දුන්නේ 2006දී. (වත්මන් රජය ඒ පහසුකම් දීමට අවුරුදු 10කටත් කලින්.) එතකොට අර උදවිය කිව්වේ ඒ වන විට ගම වටා සිටි ත්‍රස්තවාදීන්ට අපි නොමිලේ ඉන්ටෙර්නෙට් පහසුකම් දෙන බව! මම ඉතින් ඕවට උත්තර දෙන්න කාලය නාස්ති කළේ නැහැ…

ඉතිරි කොටස ලබන සතියේ

නන්ද වන්නිනායක පරිගණක පාඩමකදී (2009)
නන්ද වන්නිනායක පරිගණක පාඩමකදී (2009)